This text is replaced by the Flash movie.
Welcome! Guest  Sign In | Sign Up | Why Join? |

විවාහ චාරිත්‍ර

සැමවිටම විවාහ මංගල්‍යයේදී පාරම්පරික සිරිත් විරිත් වලට මුල්තැන ලබාදිය යුතුය.

මෙසේ විවාහ කටයුතු වලදී මංගල චාරිත්‍ර සම්බන්ධයෙන් ප්‍රධාන තැනක් දෙනු ලබන්නේ සිංහල බෞද්ධයන් හා හින්දු භක්තිකයන්ය.

නමුත්‍ මේ දෙපිරිස අතර පවතින චාරිත්‍ර ක්‍රම පැහැදිලිවම එකිනෙකට වෙනස්ය.

මංගල උත්සවයකදී චාරිත්‍ර ව‍ාරිත්‍රවලට මුල්තැන ලබාදීම පිළිබඳ විවිධ අය විවිධ අදහස් දක්වති.

සමහරු පවසන්නේ විවාහ චාරිත්‍ර වලට බොහෝ මුදල් වැය වන බවත් ඒනිසා එසේ චාරිත්‍ර වලට මුල්තැන දීම අපහසු බවත්ය.

තමත් සමහරු මෙය නිරර්ථක ක්‍රියාවක් බව පවසති. ඔවුන්ගේ අදහස විවාහ වන යුවල අතර ඇති සෙනෙහස, ආදරය, අන්‍යනෝන්‍ය අවබෝධය මත විවාහයක සාර්ථකත්වය රඳා පවතින බවය. එයට විවාහ චාරිත්‍ර වල සම්බන්ධයක් නැතැයිද ඔවුහු පවසති.

විවාහ චාරිත්‍ර වලට අධික ලෙස මුදල් වැය වන්නේ යැයි පැවසීම නම් පිලිගත නොහැක. විවැහ උත්සවවල දක්නට ලැබෙන සංගීත කණ්ඩායම් සඳහා, ඇඳුම් පැළඳුම් සඳහා යන වියදම්, ඡායාරූප ශිල්පීන්ගේ අධික අය කිරීම්, අධික හෝටල් බිල ආදිය අවම කර ගැනීමට කටයුතු කලහොත් ඉතාම පහසුවෙන් මංගල චාරිත්‍ර සඳහා මුදලක් ඉතිරි කරගත හැක.

අනෙක ඉහත කී වියදම් හා සසඳා බලන කල මංගල චාරිත්‍ර වලට වැයවන්නේ ඉතා සුළු මුදලකි.

විවාහ උත්සවයක්න් මනාල යුවලට මෙන්ම එයට සහභාගි වන ඥාතීන්ටද මානසික බලපෑමක් ඇතිවේ.

නව යුවලට මෙයින් හැඟී යන්නේ තමන්ට නව වගකීමක්, නව කාර්යභාරයක් ඇති බවය. ඔවුන් එතෙක් ගතකල කෙලිලොල් සැහැල්ලු දිවිය නිමාවී අදින් නව ජීවිතයක් ඇරඹෙන බව ඔවුන්ට හැඟී යයි.

විවාහ උත්සවයකදී බොහෝ විට සියලුම ඥාතීන් එකම උත්සව භූමියක රැස්වේ.

අද පවතින කාර්යබහුල ජීවන රටාව තුල වසරකට වරක් වත් තම ඥාතීන් මුණගැසීමට අවස්ථාවක් කිසිවෙකුට නොලැබෙන නිසා මෙ‍ම අවස්ථාව වඩාත් වැදගත් වේ.

මෙහිදී සියළු ඥාති හිත මිත්‍රාදීන් අතර සුහදතාව, ලෙංගතු බව අළුත් වේ.

මංගල උත්සවය තුලින් විවහෙයට වැඩි ගෞරවයක් එක්වන බවද කිව යුතුය. මෙ‍ම ගෞරවනීය බව මනාල යුවලට වඩාත තදින් දැනීයාම නිසා එම ගෞරවනීය විවාහ ජීවිතය රැකගැනීමට කුමන බාධකයන් හමුවේ වුවද ක්‍රියා කිරීමට ඔවුන් පෙළඹීම නිරායාසයෙන්ම සිදුවන්නකි.

මංගල චාරිත්‍ර වලින් දිසියම් ආගමික පසුබිමක්ද උත්සවයට එක්වේ.  පෝරුවේ චාරිත්‍ර වලදී සිදු කරන ස්ත්‍රෝත්‍ර ගායනා සඳහා බුදුගුණද ඇතුලත් වේ. මෙයද නව යුවතිපතින්ට ආශිර්වාදයක්ම වේ.

විවාහයක් සිදුවීමට පෙර නැකැත් බලා නැකැත්වලට අනුකූලව ශුභ වේලාවල්වලට චාරිත්‍ර ඉටුකල යුතුය.

විවාහයේදී නැකතට අනුව සියළු චාරිත්‍ර සිදුකිරීමෙන් බලාපොරොත්තු වන්නේ විවාහ වන යුවල අතර යම් නොගැලපීම් වේ නම් මංගල නැකතේදී ඇති ග්‍රහ බලය අනුව එම නොගැලපීම් අවම වී යාමයි.

මංගල නැකතේ අරමුණ වන්නේ විවාහ වන යුවලගේ ඉදිරි විවාහ ජීවිතය වඩාත් හොඳින් ගත කිරීමට අවස්ථාව සලසා දීම බැවින් විවාහයේදී නැකැත් වලට මුල් තැනක් දීම අත්‍යවශ්‍ය වේ.

එනිසා විවාහය යොදා ගන්නට නියමිත දිනට මාස තුනකටවත් පෙරදී නැකැත් බැලීම සිදුකල යුතුය.

ජ්‍යොතිර්වේදියා හමුවීමට යාමට යාමේදී බුලත් අතක් රැගෙන යා යුතුය.

ජ්‍යොතිර්වේදියාට තම අවශ්‍යතාවය පැහැදිලි කළ යුතුය.

එසේම නැකැත් නොමැති කාල සීමා  ( කෝණ ‍) හා කේන්ද්‍රවලට අනුව ඇතිවන දෝෂ ජ්‍යොතිර්වේදියා පෙන්නුම් කර දෙයි නම් ඊට අනුකූල පරිදි කටයුතු කිරීම වඩා යෝග්‍ය වෙයි.  රාත්‍රී කාලයේදී විවාහ නැකැත් යොදාගැනීමද සුදුසු නොවේ. බොහෝ විට මංගල නැකැත් සාදන්නේ මල් හටගන්නා මාසවලය. අ‍ප්‍රේල් 15 න් පසු බොහෝ විට මංගල නැකැත් සඳහා දින තෝරාගනී.

මංගල උත්සවයේදී නැකැත් එකිනෙකාට ගලපාගැනීමද කල යුතුමය.

නොඑසේ නම් සිදුවන්නේ විවාහ උත්සවය අවුල් ජාලයක් බවට පත් වීමයි. මෙය ඉතා අයහපත් අන්දමින් බලපාන්නේ මනාල යුවලටය.

නැකැත් යොදාගත යුතු වන්නේ මනාල යුවල හැකිතාක් අඩුවෙන් වෙහෙසට පත්වන පරිදිය.

නැකැත් බැලීමෙන් පසු එළඹෙන බුලත් දීමේ නැකැත් චාරිත්‍රය විවාහයට මාසයකටවත් පෙරදී සිදුකල යුතුය.

බුලත් දීමේ චාරිත්‍රයෙන් අනතුරුව සැකැත් පත්‍රය භාරදීම සිදුකල යුතුය.

ඉන්පසුව ඉටුකලයුතු චාරිත්‍රය වන්නේ තෙල් වළං ලිප තැබීමේ චාරිත්‍රයයි. එහිදී විවාහ උත්සවයට අවශ්‍ය ආහාර පිසීමේ කටයුතු ආරම්භ කල යුතුය.

මංගල උත්සව දිනට පෙර දින මනාලයාගේ නිවසෙන් බුලත් කොල යම්කිසි ප්‍රමාණයක් මනාලියගේ නිවසට යවයි. මෙයින් කියවෙන්නේ මේ බුලත් කොල ගණනට සමාන පිරිසක් මංගල උත්සවය සඳහා මනාලයාගේ පාර්ශවයෙන් සහභාගි මන බවයි.

මනාලයා තම නිවසින් පිටවීම නැකැත් පත්‍රයේ සඳහන් සුභ නැකැත් වේලාවට  සිදුකල යුතුය.

සමහර මනාලයන් නිවසින් පිටවීම සඳහා නැකැතක් නොබලයි. නමුත් මනාලයාට මේ අවස්ථාව තම ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක් බැවින් ඒ සඳහා නැකැතක් බැලීම අත්‍යවශ්‍යයය.

සමහර අවස්ථාවලදී මනාලයා නිවසින් පිටවී යන නැකැත එළඹෙන අවස්ථා‍ෙව්දී මනාලයාගේ පවුලේ අය සූදානම් වී නොසිටියි.

සමහර විට මනාලයා නිවසින් පිටවීමේ නැකත හා මංගල උත්සවය පැවැත්වෙන ස්ථානය කරා ළඟාවිය යුතු වේලාව අතර සෑහෙන පරතරයක් පවතී.

මේ අවස්ථා දෙකම නිසා සිදු වන්නේ මනාලය‍ා නිවසින් පිටවීමේ නැකැතට නිවසින් පිටවී මිදුලට වී පැය ගණනක් බලා සිටීමය.

සිදුවිය යුත්තේ මෙය නොවේ. මෙය නැකත පිළිපැද්දා යයි පවසා සිත සනසා ගැනීමට දරන උත්සාහයකි.

නැකත ඇත්තේ පවුලේ සියළු දෙනා සමඟින් නිවසින් පිටවී යාමට මිස නිවසේ ප්‍රධාන දොරටුවෙන් පිටවීමට නොවේ.

මෙයින් මනාලයා කලකිරීමට පත්වීම, වෙහෙසට පත්වීම ආදියද සිදුවේ.

මෙයින් පැහැදිලි වන්නේ නැකැත් අතර හොඳ සම්බන්ධීකරණයක් තිබීමේ වැදගත්කමයි.

එමෙන්ම මනාලියගේ නිවසට පැමිණීම හා මනාලියගේ නිවසින් පිටවීමද නැකැතකට අනුව සිදුකලද හෝටල් ආශ්‍රිතව සිදුකරන මංගල උත්සවවලදී මෙම නැකැත් භාවිතා කිරීමට අවශ්‍ය නැත.

මනාලියට වේල් එක තැබීම ඇගේ මව විසින්ම සිදු කල යුතුය.

මඟුල් කිරිබත් ඉඳුල් කිරීමේ චාරිත්‍රය මනාලියගේ මව විසින් මනාලයාට කිරිබත් පිඬක් කැවීමෙන් ඉටුකරයි.

මෙයද අතීතයේ පටන් පැවත එන ඉපැරණි චාරිත්‍රයකි.

මනාලිය කැන්දාගෙන යාමට මනාලියගේ නිවසට පැමිණෙන මනාලයාගේ පා සේදවීම මංගල චාරිත්‍ර අතර සුවිශේෂ වූවකි.

මනාලියගේ බාල සොහොයුරෙක් විසින් මනාලයාගේ පා සේදීම සිදුකරන අතර පා සෝදන බාල මස්සිනාට තෑග්ගක් ලෙස මනාලයා රන් මුදුවක් ලබාදීමද සිරිතක්ව පවතී.

පෝරුවේ චාරිත්‍ර කටයුතු නිවැරදි වත් පිළිවෙත් වලට අනුකූලව ඉටුකිරීම ඉතා වැදගත්ය.

මනාල යුවළ පෝරුවට නැගීමට ඇති නැකතට විනාඩි කිහිපයකටවත් පෙරදී පෝරුව අසලට පැමිණිය යුතුය.

මනාලයාගේ වමත පෝරුව දෙසට සිටින අයුරින් පෝරුවට නැගීමට සූදානම් විය යුතුය.

මනාලියගේ පියා විසින් හෝ වැඩිහිටි පිරිස් වෙතින් මනාලිය පෝරුව කරා කැඳවාගෙන එන අතර මංගල සභාවට මුහුණ ලා දකුණත පෝරුව දෙසට සිටින සේ මනාලිය සිටිය යුතුය.

පෝරු චාරිත්‍ර සඳහා අවශ්‍ය බුලත්සැපයිය යුත්තේද මනාලයාය.

මේ පෝරුවේ චාරිත්‍රවලදී මනාල යුවල මුලින්ම ත්‍රිවිධ රත්නය සඳහා බුලත් අතක් වෙන් කරන අතර එය සෑම දෙනාගේම හිසට ඉහලින් උස් ස්ථානයක රඳවයි.

ඉන්පසු මනාල යුවලගේ නමින් මියගිය සියලුම නෑයන් සඳහා පඬුරු සමඟ බුලත් අත් හතක් පෝරුවට දමයි. ඉන් අනතුරුව මනාල යුවල මව පියා හා ළඟම ඥාතීන්ට බුලත් අතක් දී වැඳ ඔවුන්ගේ ආශිර්වාදය ලබාගනියි.

පෝරුවෙන් බැස්සවීමේ කටයුතු සිදුකරන්නේ මනාලයාගේ මාමා හෝ මනාලයාගේ පියා විසිනි.

මනාල යුවල පෝරුවෙන් බැසිය යුත්තේ දකුණු කකුල පෙරට තබාය.

පෝරුවෙන් බස්වන අවස්ථාවේදී පොල්ගෙඩිය බිඳීම සිදුකරන අතර එම අවස්ථවද නැකතකට අනුව සිදුකල යුතුය.

පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව ච‍ාරිත්‍රානුකූල විවාහ කටයුතු අවසාන වන අතර නීත්‍යානුකූල විවාහ කටයුතු ඇරඹෙන්නේ ඉන් පසුවය.

මංගල උත්සවය අවසානයේදීද මනාල යුවල නිවසින් පිට කරවාගෙන මිදුලේ තබාගෙන මංගල සභාව පැවැත්වීම දක්නට ලැබේ. මෙයද නොකල යුතු අතර මනාල යුවල වෙහෙසට පත්වීමද සිදුවේ. මෙහිදීද නැකත යොදාගන්නේ මනාල යුවලට පිටව යාමට මිස මිදුලට බැසීමට නොවන නිසා මනාල යුවල නැකතට අනුව පිටකිරීමට කටයුතු කිරීම කල යුතුය.

පරපුරෙන් පරපුරය නොනැසී පවතින විවාහ චාරිත්‍ර තවමත් අප අතර ඉතිරිව පවතින්නේ ඒ තුල ඇති ස්වදේශිය මුහුණුවර හා සංස්කෘතික උරුමයන් එහි ගැබ්වී ඇති බැවිනි.

විවාහ චාරිත්‍ර වල ඉතිහාසය හා වර්තමානය දෙස බලන කල විවිධ වෙනස්කම් දැකිය හැක.

විශේෂයෙන් අතීතයේ විවාහ ක්‍රම වලදී ප්‍රාදේශිය වශයෙන් විවිධ වෙනස්කම් පැවතී ඇත.

උඩරට, පහතරට, උතුරු පළාත්, වෙරළබඩ ප්‍රදේශ වල විවිධ චාරිත්‍ර ක්‍රම දක්නට ලැබුනි.

වර්තමානයේ දැකිය හැක්කේ මේ ක්‍රමවල සම්මිශ්‍රණයකි.

වර්තමානයේ සිදුවන විවාහ උත්සව වලදී සාම්ප්‍රදායික විවාහ චාරිත්‍ර හා නීත්‍යානුකූල විවාහ චාරිත්‍ර ලෙස චාරිත්‍ර දෙවර්ගයක් ඉටුකරනු ලබයි.

නමුත් වර්තමාන පරම්පරාවේ සිට පරම්පරා තුනක් හෝ හතරක් අතීතය විමසා බලන කල නීත්‍යානුතූල විවාහ චාරිත්‍රයක් එකල නොතිබුනි.එකල තිබුනේ සාම්ප්‍රදායික විවාහ ක්‍රම පමණි.

එනම් මනාල පාර්ශ්වය මනාලියගේ නිවසට පැමිණ පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීම, සුළැඟිලි බැඳ අතපැන් වත්කිරීම, මුදුමාරු කිරීම ආදී සාම්ප්‍රදායික චාරිත්‍ර ඒ සමයේ ක්‍රියාත්මක වුණි.

ඊට අමතරව ප්‍රාදේශිය වශයෙන් විවිධාංගීකරණය වූ චාරිත්‍ර ක්‍රමද පැවතුනි.

සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටුකරන්නේ ඉතිහාසය පුරා පැවතී චාරිත්‍ර නොනැසී පවත්වාගෙන ‍යාමේ ප්‍රතිඵලයක් වශයෙනි.

නමුත් විවාහයකදී සාම්ප්‍රදායික චාරිත්‍ර ගැන වැඩි උනන්දුවක් හා වැඩි අවධානයක්ද යොමුවන්නක් ලෙස හඳුන්වාදීම වැරදි නැත.

මංගල උත්සවයක වැඩි අලංකාරයක් රැඳී ඇත්තේ ඉටුකරන චාරිත්‍ර වාරිත්‍ර ප්‍රමාණය මතයයි අපේ විශ්වාසයක්ද තිබේ.

නීත්‍යානුකූල විවාහ ක්‍රමය මෙරට ස්ථාපිත වූයේ ලන්දේසින්ගේ ආගමනයත් සමඟය.

එතැන් පටන් නීත්‍යානුකූලව හා චාරිත්‍රානුකූලව යන සම්ප්‍රදායන් දෙකෙන්ම සම්මිශ්‍රණයක් මෙරට ගොඩනැගුනි.

උක්ත ක්‍රමවල හා වරින් වර සිදුවුන විවිධ විකාශනයන්හි ප්‍රථිඵල ලෙස වර්තමානයේදී විවාහ රෙජිස්ට්‍රාර් ඉදිරියේ විවාහ දිවුරුම ලබාදී යුවතිපතීන් විසින් අත්සන යොදා සාක්ෂිකරුවන්ද දෙදෙනෙකු අත්සන් කිරීම මගින් විවාහයට නීත්‍යානුකූල තත්ත්වයක් හිමිවෙයි.

දිසා අධිකරණයකින් දික්කසාද තීන්දුවක් ලැබෙන තුරු එම විවාහය වලංගු විවාහයක් වෙයි.

වර්තමානයේ දේපල උරුමය, දේපල බෙදීයාම ආදිය සඳහා වලංගු නීත්‍යානුකූල විවාහයක් අවශ්‍ය නිසා ‘නීත්‍යානුකූල විවාහයට’ විවාහ දිනයකදී ප්‍රධාන ස්ථානයක් හිමිවෙයි.

නීත්‍යානුකූල විවාහ චාරිත්‍රයට අමතරව අපේ ජන සමාජය හා බද්ධවී පවතින සාම්ප්‍රදායික දේශීය විවාහ චාරිත්‍ර ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ඉතා වැදගත් වෙයි.

Top of Page Copyright © 2009 Sri lanka Wedding Portal . All rights reserved.
Powered By | Website Design Sri lanka | Sri lanka Web Hosting | Sri Lanka Wedding | Sitemap| Privacy Policy