මනාලිය අසාමාන්‍ය ලෙස සැරසීමට උත්සාහ ගැනීම නිසා සිදුවන්නේ අයහපතකි.
මනාලිය අසාමාන්‍ය ලෙස නොව සාමාන්‍ය ලෙස සැරසිය යුතුය.
අනවශ්‍ය ලෙස සිරුර ප්‍රදර්ශනය නොවන පරිදි මනාලිය සැරසිය යුතුය.
තමන් අඳින්නේ ඔසරිය, සාරිය හෝ බටහිර ගවුම යනාදියෙන් කුමක්ද යන්න තමන්ගේ ශරීරයේ ස්වරූපය අනුව මෙන්ම තමන්ගේ පවුල් පසුබිම අනුවද තෝරාගත හැක.
මනාලියගේ ඇඳුමට යොදන්නේ තනි පැහැයක්ද, වර්ණ කිහිපයක්ද යන්න තීරණය කරගත යුතුය.
පල්ලියේ විවාහ වන යුවතියන් බොහෝ විට ගවුම ඇඳීමට කැමැත්තක් දක්වයි.
මේ ගවුම පිටුපසින් බොහෝ දිගට සාදන අවස්ථා ඇත. එමෙන්ම දිග වේල් එකකුත් දමයි. එවැනි මනාලියකට යෙහෙළියන් සිටීම ඉතා වැදගත්ය. මන්ද මනාලිය ඉදිරියට ගමන් කරන විට ගවුම හෝ වේල් එක කොහේ හෝ පැටලිය හැකි බැවිනි.
මෙයට විසඳුමක් ලෙස දිග පිටුපස කොටසක් ඇති ගවුමට කෙළවරෙන් මුදුවක් මසා එය මනාලියගේ අතේ මැදඟිල්ලට රැඳවිය හැක. එවිට මනාලියට පහසුවෙන් ඒ මේ අත යෑමට හැක.
මනාලියෙග් පාවහන් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධානම කරුණ මනාලයා හා මනාලිය අතර ඇති උස පරතරයයි.
ඇතැම් මනාලියන් මංගල දිනයේදී තමන්ට නුපුරුදු පාවහන් පළඳියි.ඉන් සිදුවන්නේ තමන්ට සුපුරුදු සැහැල්ලුවෙන් කටයුතු කරන්නට නොලැබීමයි.
ඒ නිසා දෙපයට අපහසුවක් නැති තමන්ට පුරුදු පාවහන් යුවලක් තෝරාගන්න.
වැඩි වේලාවක් පැළඳගෙන ඉන්නට සිදුවන නිසා හොඳින් වාතාශ්‍රය ලැබෙන පාවහන් වීමත් වැදගත්ය.ඔබට නුහුරු පාවහන් යුවළක් මංගල දිනයේදී ඔබ පළඳින්නට අදහස් කරනවා නම් එය කලින් පැළඳ හුරුවීම වැදගත්ය.
වේල් එක පහතරය මනාලියකට පළඳවන්නක් වන අතර මෙම සිරිත අපට පැමිණ ඇත්තේ බටහිර සිරිත් විරිත් වලිනි.
පාවහන් මෙන් මෙය කලින් පැළඳ හුරුවීමට නොහැකිය.ඒ නිසා මනාලිය හැඩ කරන රූපලාවන්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා වේලය හසුරුවා ගන්නා ආකාරය ගැන ඇය දැනුවත් කළ යුතුය. නැතිනම් කරදර ඇතිවේ. වේල් එක අත මත රඳවාගත හැකි ලෙස එකතු කර දුන්නොත් එය පහසුවකි. ෆේස් වේලය දමනවා නම් එය වේලයෙන්ම දැමීම වඩාත් සුදුසුයි.
එයිදී මනාලියගේ මල් කලඹද වැසී යන ආකාරයෙන් ෆේස් වේලය දැමීමෙන් ඇයගේ සුන්දරත්වය වැඩි කරගත හැක.
ශ්‍රී ලංකාවේ මනාලියන්ගේ ජාතික ඇඳුම ඔසරියයි. ඒ නිසා මනාලිය ඔසරියකින් සැරසෙන්නේ නම් මනාලයා අනිවාර්යයෙන්ම මුල් ඇඳුමෙන් හෝ ජාතික ඇඳුමෙන් සැරසිය යුතුය.
මනාලිය අඳින ඔසරිය සඳහා විලාසිතාවන් එක් කරගත හැක. හැට්ටය සඳහා කොට බෝරිච්චි අත, අන්නාසි බෝරිච්චි අත, කබා කුරුතා අත ආදී විවිධ මෝස්තර සහිත අත් මසා ගත හැකිය.
මෙය මනාලියගේ සිරුරේ ස්වභාවය අනුව තෝරාගත හැකිය.
ඔසරිය අඳින මනාලිය රන් පැහැය තෝරා ගැනීම වැදගත්ය. අපේ රටේ කාන්තාවන්ගේ සමේ පැහැයට වඩාත් ගැලපෙන වර්ණය ලෙසත්, රන් පැහැති ආභරණ කට්ටලයට ගැලපෙන වර්ණය ලෙසත් මේ පැහැය හඳුන්වාදිය හැක.
මීට අමතරව තලෙලු මනාලියකට බිස්කට් පැහැයද, පැහැපත් මනාලියකට සුදු පැහැයද තෝරාගැනීමේ වරදක් නැත. පැහැපත් යුවතියකට කැමැත්ත අනුව බිස්කට් පැහැය වුවද තෝරා ගත හැක.
රූපලාවන්‍ය ශිල්පියෙකු උඩරට මනාලියක හැඩගැන්වීමේදී යම් කිසි රාමුවක් තුල සිටිමින් ඇය හැඩ ගැන්වීම කල යුතු වේ. විවිධ මෝස්තර භාවිතා කලත් සම්ප්‍රදාය රැකෙන අයුරින් මනාලිය හැඩගැන්විය යුතුය.
මංගල උත්සවයද පැවැත්විය යුතු වන්නේ ඒ ආකාරයටය.මඟුල් බෙර වයා පෝරු මස්තකානුරූඪ කල යුත්තේ උඩරට මනාලියයි.
උඩරට ක්‍රමයට සැරසෙන මනාලියකට අනවශ්‍ය ලෙස විලාසිතා යොදා ගැනීම කිසිසේත්ම සුදුසු නැත.
ඉන් උඩරට ඔසරිය තුලින් මැවෙන ගාම්භීරත්වය, තේජස් බව යටපත් වී යා හැක.
මනාලයා තුප්පොට්ටිය හෙවත් මුල් ඇඳුමෙන්ද, මනාලිය ඔසරියෙන්ද සැරසෙන්නේ නම් දෙවන මනාලයන් තුප්පොට්ටියෙන්ද දෙවන මනාලියන් ඔසරියෙන්ද සැරසිය යුතුය.
මල් කුමරියන් ළමා සාරියෙන් සැරසීම වඩා සුදුසු වුවත් කුඩා බෝරිච්චි අත් යෙදූ හැට්ටයකින් හා දිග සායකින් වුවද මල් කුමරියන් සැරසවිය හැක.
බොහෝ විට ලොකු මුදලක් වියදම් කර සාරිය සූදානම් කර ගත්තද යට සාය හෝ හැට්ටය ගැන එතරම් දුරට නොසිතයි.
නමුත් අප යටසාය ගැන බොහෝදුරට සිතිය යුතුය. විනිවිද පෙනෙන සාරියක් නම් වඩාත් සිතිය යුතුය.
අද බොහෝ දෙනා මංගල සාරියට යටසාය මහන්නේ සැටින් වලිනි. එවිට සිදුවන්නේ දහදිය දැමීමෙන් පසු යටසාය ඇඟට ඇලීමයි. එවිට මනාලියගේ රාජකාරිය නිතරම යටසාය අදින එකය. එසේ අදින විට සාරිය වුව ගැලවී ආ හැක.
සැටින් සායට දහදිය උරාගැනීමක්ද සිදු නොවන නිසා කකුල් දිගේ දහදිය බේරෙන විට මනාලිය අපහසුතාවයට පත්වීමද සිදුවේ.
ඒ නිසා යටසාය පොප්ලින් වලින් ලයිනින් කිරීම සිදුකල යුතුය.
සැටින් සායෙන් යට ඇඳුම් එළියට පෙනීමේ අවදානමකුත් ඇත.
යට සාය දිග වුවහොත් මනාලියට ඇවිදීමට නොහැකි වේ. කොට වුවහොත් අවලස්සනට පෙනේ. ඒ නිසා හරියටම බිම මට්ටමටට තිබීම අවශ්‍යයයි.
එමෙන්ම සිරුරේ හැඩයටම මසා තිබීමද වැදගත් වේ.
හැට්ටය නම් උසට මසාගත යුතුය.
එමෙන්ම එය සිරුරේ හැඩය අනුව මසා ගැනීමද අත්‍යවශ්‍යයය. මහත සිරුරක් නම් සිහින්ව පෙනෙන්නටත්, සිහින් සිරුරක් නම් මහතට පෙනෙන්නටත් හැට්ටය සුදානම් කරගත යුතුය.
ආභරණ පැළඳිය යුත්තේ මනාලියගේ රුව මතුවී පෙනෙන ලෙසය.
වැඩි ආභරණ ප්‍රමාණයක් පැළඳීමෙන් අන් අයගේ ඇස් යන්නේ මනාලිය වෙත නොව ආභරණ වෙතය.
ආභරණ සමේ පැහැයට නොගැලපුනහොත් එයින්ද එහි සුන්දරත්වය මතු නොවේ.
ඒ නිසා හැකි තරම් චාම්ව ආභරණ පැළඳිය යුතුය.
ඔසරියෙන් සැරසෙන මනාලිය පැළඳිය යුතු සාම්ප්‍රදායික ආභරණ කට්ටලයක් වේ.
උඩරට මනාලිය හැඩගැන්වීමේදී ආභරණ කට්ටලය සඳහා සාම්ප්‍රදායානුකූලව ඉර, හඳ දෙක හිස පළඳනාව ලෙස භාවිතා කළ යුතුය.නළල් පටය, කනට කඩුක්කන්, කරබැඳි මාලය, හංසපූට්ටු හතර හෝ පහ, පෙති මාලය, ගෙඩි මාලය, අගස්ති මාලය, මකර මාලය, ගිගිරි, ගෙඩි වළළු, සැළි වළළු, මුදු වළල්ල, ඉණට හවඩිය, සාරි කටුව, පාද සළං, පංචකූර නැතිනම් කොණ්ඩ කූර යනාදිය උඩරට මනාලියගේ ආභරණ කට්ටලයට අයත් වේ.
මේ ආභරණ කට්ටලය පත්තිනි දේවියගේ ආභරණ කට්ටලය ලෙස සැළකේ.
මනාලියගේ හිස පළඳවන ඉර හඳ දෙකෙන් පැවසන්නේ මෙම විවාහය ඉරහඳ පවතින තාක් පවතීවා යන්නය.
කාන්තාවගේ පවිත්‍ර භාවය හා පාරිශුද්ධ බව සංකේතවත් කරන්නේ හංස පූට්ටුවෙනි.
පෙති මාලය මගින් කාන්තාව සෞභාග්‍යයේ සංඛේතයක් ලෙස දක්වන අතර ගෙඩි මාලයෙන් කාන්තාවගේ පිරිපුන් බව සංකේතවත් කරයි.
මනාලියගේ ඇස්වහ කටවහ දෝෂ නිරාවරණය කිරීමට මකර මාලය පළඳවනු ලබයි.
අද නවීන විලාසිතා සමඟම මනාලියට පළඳවන සාම්ප්‍රදායික නළල් පට වෙනස් වී කෑලි 5, 7, 11 සහිත නළල් පට භාවිතා කරයි.මෙය මනාලියගේ හා ඇගේ මව්පියන්ගේ කැමැත්තට අනුව තෝරා ගත යුතුය. මල් කළඹද මනාලියට දරන්නට හැකි ලෙස තිබිය යුතුය.
ඇතැම් මනාලියන් කැමැත්ත දක්වන්නේ මල් කළඹ වඩාත් විශාලව පෙනෙන ආකාරයෙන් තෝරා ගැනීමටය.
නමුත් මල් කළඹ විශාල වීමෙන් එය අතදරා සිටීමට අපහසුතාවයක් ඇතිවෙනවා පමණක් නොව මනාලියට වඩා මල් කළඹ කැපී පෙනීමක්ද මෙහිදී සිදුවේ.
මල් කළඹ නියම ප්‍රමිතියට හැඩයට සෑදිය යුතුය.
ඇතැම් මල් කළඹ ශරීරයේ රටාවට තබාගැනීමට පවා නොහැක. මන්ද එහි අතින් අල්ලන කොටස දිග වැඩි බැවිනි. නොඑසේ නම් මහත වැඩි බැවිනි.
එසේ වූ කල එය මනාලියට අනවශ්‍ය කරදරයකි.
ඒ නිසා හැකිතරම් කම්බි අඩුවෙන්, සැහැල්ලු මල් කළඹක් නිර්මාණය කළ යුතුය.
උඩරට මනාලියට නම් සාම්ප්‍රදායිකව නෙළුම් මල්, අරලිය මල් හා වී කරල්, පුවක් මල්, පොල්මල් ආදී දේශීය අමුද්‍රව්‍ය යොදා මල් කළඹ සකස් කෙරුණත් අද නම් රෝස මල් පවා මල් කළඹ සැකසීමට භාවිතා කෙරේ.
මනාලිය හා මනාලයා අතර ඇත්තේ සමාන උසක් නම් මනාලියගේ කොණ්ඩා මෝස්තරය උසැති එකක් නොවිය යුතුය.
මනාලයා, මනාලියට වඩා උසින් වැඩිනම් මනාලියට උසැති කොණ්ඩා මෝස්තරයක් යෙදිය හැක.
කෙසේ නමුත් මනාලියට දමන කොණ්ඩා මෝස්තරය ඇයගේ මුහුණේ හැඩයට හා අඳින ඇඳුමට ගැලපෙන සේ සකස් කල යුතුය.
නමුත් උඩරට මනාලියකගේ කොණ්ඩය අප සකසන්නේ එකම ක්‍රමයකටය. ඒ බෙල්ලට ඉහළින්, කන්දෙක අතර කොණ්ඩය ගෙඩියක් සේ රැඳෙන ලෙස සකස් කරගැනීම අලංකාරය.
කොණ්ඩය ඉදිරිපස මුහුණේ හැඩය අනුව බැක්කොම්බ් කර සකසා ගත හැකිය.
මල් ඉති, කොණ්ඩ පදක්කම මගින් ඉන්පසුව කොණ්ඩය සරසාගත හැක.
මේ මල් හා ආභරණද ඉතිරි ආභරණවලට හා මල් කළඹට ගැලපිය යුතුය.
ඇතැම්විට කොණ්ඩය පිටුපසින් ආභරණවල පැටලෙන අවස්ථා ඇත. එවිට කොණ්ඩය කොණ්ඩ සැරසිල්ලෙන් පිටතට විත් අවලස්සනට පෙනේ.
ඒ නිසා එසේ පටලැවෙන්නේ නැති ලෙස නෙට් එකක් යොදා කොණ්ඩය වසා ගැනීමටත්, ආභරණවල ගාංචු හොඳින් සවිකිරීමටත් සැළකිලිමත් විය යුතුය.